හංවැල්ලේ සිදුවූ ගැටුමකින් තිදෙනෙකු රෝහලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හංවැල්ල පරණ පාරේ ඉන්ධන පිරවුම් හලක් තුළදී එහි සේවයන් තවත් පිරිසක් සමඟ අද (11) ඇති වූ ගැටුමකින්  පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර ඉන්ධන හලේ සේවකයෙකු ද වන බව පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයකට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඉතිරි මුදල් ගැනීමට අමතකව ගොස් යළි පැමිණ ඒ පිළිබඳ විමසීමේදී මෙම ගැටුම හට ගෙන ඇති බව පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනාට අමතකව ගිය ඉතිරි මුදල් විමසා ඇති අතර එම අවස්ථාවේදී එහි සේවකයන් හා ඔවුන් අතර සිදුවූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ පැමිණි පුද්ගලයින් දුරකතන ඇමතුමක් ලබාදීමෙන් පසු පුද්ගලයන් සිව් දෙනෙකු යතුරු පැදි දෙකකින් එම ස්ථානයට පැමිණීමත් සමඟ සිදු වූ ගැටුම දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලද ඉන්ධන හලේ සේවකයා සාලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය හා යතුරු පැදිය ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතැයි පොලිස් වැඩිදුරටත් පැවසීය.