සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස්


1997 පෙබරවාරි 11 වැනි දා කුරුවිට දී හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම, අයුතු ජනරාශිය ඇතුළු චෝදනා එල්ලවී සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද නියෝග කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ වසර ගණනාවක් ලඝු නොවන නඩු විභාගය පැවැති අතර නීතිපති විසින් සුසන්ත පුංචි නිලමේ , හිටපු නියෝජ්‍ය ඇමැති මහින්ද රත්නතිලක ඇතුළු පස් දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවැරිණි.

නඩු විභාගය අතරතුර මහින්ද රත්නතිලක මිය ගියේය.

හත්මාසයක පමණ කාලයක දී පැමිණිල්ලේ සාක්කි අවසන් කැරිණි.

පැමිණිල්ල මගින් විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකළ හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය විත්තිය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරු  ඉල්ලා සිටියහ.

ඒ අනුව දෙවැනි, තුන්වැනි හා සිව්වැනි විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොමැති හෙයින් පෙර නඩු දිනයකදී නිදහස් කරනු ලැබූහ.

නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට එරෙහි චෝදනා පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු තීරණය කළේ පුංචි නිලමේ මහතාට එරෙහිව ද පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව විත්තියේ සාක්කි නොකැඳවාම පුංචිනිලමේ මහතා නිදොස්කොට නිදහස් කැරිණි.

අපරාධය සිදුවන අවස්ථාවේ පුංචිනිලමේ හා මහින්ද රත්නතිලක එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ වූහ.