මද පවනින්
පෙණ පිඩු විසිරෙන
දිය සිසිලෙන්
පෙම් සිත පුරවා ගත් ඇය යන්න ගියා
නාඹර ගොයමින්
ඒ මත තැවරුණු පිනි කඳුළෙන්...
පේ‍්‍රමය හඳුනාගත් ඇයත යන්න ගියා
අන්තර් ජාලයේ යූ ටියුබය ඔස්සේ ඇසෙන මේ ගීතයේ රූප රාමුව විචිත‍්‍ර එකකි. මුහුදු වෙරළක් දිගේ දිවයන සුරූපී යුවතිය නරඹන්නන්ගේ නෙත් පැහැර ගන්නා නිසාය.
මේ මුහුදු වෙරළ අපට හුරු පුරුදු ලංකාවේ සුන්දර වෙරළ නොවේ. අරාබිකරයේ බහරේනයේ වෙරළයි. මේ වෙරළ දිගේ දිවයන යුවතියද බහරේනයේ පදිංචි යුවතියකි.
කොටින්ම මේ ගීතයේ රූප රචනයට පසුබිම් වූයේ බහරේනයයි.
එහෙත් මේ ගීතයට සම්බන්ධ වූ සියල්ලන්ම අපේ ලංකාවේ අපේම සිංහලයන්ය.
”මද පවනින්” ගීතය ලිව්වේ සිසිර සී. විතානගේය. කිසියම් හේතුවක් නිසා ඔහු අතින් ලියැවුණු මේ ගී පදවැල ඔහු දිනෙක නවරත්න ගමගේ ගේ අත තැබුවේය. ප‍්‍රවීණ සංගීතඥයකු වූ ”නවා” මේ පදවැලට තම සංගීත ඥානයෙන් සාධාරණත්වය ඉටු කළේය. එහෙත් ටික කාලයක් මේ ගීතය නොගැයී ඔහු ළඟ ඔහේ තිබුණේය.
ඉකුත් වසරේ අගෝස්තුවේ සමන් ජයනාත් ජිනදාස නම් වූ ජනප‍්‍රිය ගායන ශිල්පියා ලංකාවට පැමිණියේය. බහරේනයේ නැව් අලූත්වැඩියා කරන සමාගමක ඉංජිනේරුවකු ලෙස රැකියාව කරන සමන් හැම අගෝස්තුවකම නිවාඩුව ගත කරන්නට ලංකාවට එයි. ඒ ආ විටෙක සමන්xනවා හමුවීමක් සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නකි.
නවා ඔහු නිර්මාණය කළ තනුව සමන්ට අහන්නට සැලැස්සුවේය. දශකයක් තිස්සේ ගී ලොවින් ඈත්වී සිටි සමන් ජයනාත්ට මේ ගීතය ගයන්නට සිතිණි.
ඉතිං ඔහු ගැයුවේය.
ගීතය ගයා ආපසු බහරේනයට ගිය ඔහු තම ගීතය වෙනුවෙන් රූප රචනයක්ද කළේය.
”මේ ගීතයෙ රූප රචනයට දායක වුණේ ලංකාවෙම කට්ටිය. මාත්තෙක්ක මගේම සේවායතනයෙ එකට වැඩකරන කට්ටිය....” සමන් සිහිපත් කරයි.
දැන් මා සිටින්නේ සමන් ජයනාත් සමගය. රත්තනපිටියේ ඇලට යාබදව පිහිටි බිම්කඩක ඇති ඔහුගේ නිවසෙහි උඩුමහලේය. අපේ මේ හමුව සිදුවූයේ වසර පහ හයකට පසුවය.
සමන් ජයනාත් මට මුල්වරට හමුවූයේ ලංකාදීප කාර්යාලයේදීය. ඔහු ස්වකීය මුල්ම ගීත එකතුව සහිත කැසට් පටයකුත් රැගෙන පැමිණි ගමනේදීය.
ඊට මාස කිහිපයකට පසුව උමා නම් වූ මියුරු ගීතයක් රැයක් දවාලක් නැතුව රේඩියෝවලින් ඇහෙන්නට පටන්ගත්තේය.
තුමුල නමුනු කුල ගිරි හිස
උදුල සඳ මඬල දුටුනෙත
හිනැහුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනාවෙන්නට කාරණා
ඔහොම හිනාවෙනකොට
උඹ ලස්සනයි උමා.
කලින් කලට මේ අයුරින් ඇතැම් ගීත ලවක් දෙවක් නැතුව ප‍්‍රචාරය වෙමින් ජනප‍්‍රියත්වයේ උපරිමයටම යන්නේය. උමා නමින් හඳුන්වන මේ ගීතයද කිසියම් කාල වකවානුවක ලංකාවේ ජනප‍්‍රියම ගීතය බවට පත්විය.
කොහොමද මේ උමා ගීතය නිර්මාණය වුණේ.
වඩා රසවත් වර්තමානය නොව අතීතය බැවින් මම සමන් ජයනාත්ගේ අතීත මතක අවුස්සමි.
ඔතෙන්ට එන්න ටිකක් දිග අතීතෙකට යන්න වෙනවා.
සමන් කීවේ අතීත කතාව පටන් ගත යුතු තැන කොතැනදැයි කල්පනා කරමිනි.
”ඉතින් යමු”
මම ඔහු සමග අත්වැල් බැඳගෙන අතීතයට පියනගමි.
”මම පැලවත්තෙ සීනි කර්මාන්ත ශාලාවෙ වැඩ කරපු කාලයක් තිබුනනෙ. ඉතින් ඔය කාලෙදී මම ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගයක් තිබ්බා. හැබැයි මේකට මම ආරාධිත ගායකයො කීප පලකුත් සම්බන්ධ කරගත්තා. කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප‍්‍රියදර්ශනී, ආනන්ද පෙරේරා තමයි මගේ ඒ ප‍්‍රසංගයෙ ආරාධිතයො වුණේ. ෂෝ එක ඉදිරිපත් කළේ සමන් අතාවුදහෙට්ටි. මේ ප‍්‍රසංගය හුඟාක් සාර්ථක වුණා. හැබැයි මගෙ සිංදු තිබුණෙ එකක් දෙකක් විතරයි. මම මහනුවර සේවයට කළ දුම්බර නෙලූමේ කියන ගීතයයි තවත් ගීයක් දෙකකුයි. ඒ අතරෙ මේ උමා සිංදුවත් තිබුණා.
කොහොමද ඉතිං ඔයාට උමා මුණගැහුණේ?
මම සමන්ගේ කතාබහට බාධාකරමි.
”ඔය උමා සිංදුව තිබුණෙ පත්තරේක කවි පිටුවක. ඒක දැකලා තමයි මම ඒ කවිය ලියපු සුදත් ගාමිණී බණ්ඩාරට කතාකරල සිංදුව ඉල්ල ගත්තෙ...”
මේ සිංදුව අහල ප‍්‍රතිචාර මොනවගේද?
උමා අතැර යන්නට සමන්ට මා ඉඩ දුන්නේම නැත.
මටම කියලා මගේම සිංදු ටිකක් හදාගන්න කියලා ෂෝ එකට ආපු ආරාධිත ගායකයො හැමෝම කිව්වා. ඉතින් ඊට පස්සෙ තමා මම කොළඹ ඇවිත් සිංදු ටිකක් හොයාගෙන ගායනා කළේ. සලාම් කියාගෙන ගෙට එන, අනුත්තරා, ගිමන නිවන වැනි ගීත කිහිපයක්ම ඔහු ගායනා කළේය. මේ සියල්ල කැටි කළ කැසට් පටයට එදා ඔහු තැබුවේ අනුත්තරා යන නමයි.
”ඊට පස්සෙ මම මේ ගීත ටිකත් අරගෙන මාධ්‍ය ආයතනවලට ගියා.” සිරසෙ නිමල් ලක්ෂපතිආරච්චි මේ සිංදු ටික අරන් නිතරම ප‍්‍රචාරය කළා.
මම ගුවන්විදුලි සංස්ථාවට ගිහින් ඉන්දැද්දී කේ.ඞී.කේ. ධර්මවර්ධන මුණගැහුනා.
මොකද මල්ලි කියල කේ.ඞී.කේ. මගෙන් අහල මගේ ගීත එකතුව අරගත්තා. කිසිම කතාවක් නැතුව ඒ සිංදු ටික ප‍්‍රචාරය වෙන්න පටන්ගත්තෙ ඔය කාලෙදි. දවසක් වසන්ත රෝහණ බොහෝම අමාරුවෙන් මාව එයාගෙ ගුවන් විදුලි වැඩසටහනකට සජීවීව සම්බන්ධ කරගත්තා. ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයො දක්ෂයන්ට අත දුන්නෙ ඒ විදිහට.... කිසිම කෙනෙක් මගෙන් තේ එකක්වත් බිව්වෙ නැහැ.
ඒ කාලෙ මාධ්‍ය ආයතනවල වැඩ කෙරුනෙ ඒ විදිහටයි.”
නමුත් සමන් ජයනාත් සිටියේ පැලවත්තේය. සීනි කර්මාන්ත ශාලාව වෙනම ලෝකයකි. රේඩියෝ එකක් ඇහෙන්නෙත් කලාතුරකිනි.
සමන් දවසක්දා ඔහුගේ උපන්ගම වූ බණ්ඩාරවෙලට ගියේය. සරමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන සමන් කඩයකට යමින් සිටියේය.
ඉදිරියට පැමිණි බසයක් ඔහු ළඟ නතර කළ අතර එහි රියැදුරු කවුළුවෙන් හිස දමා සමන්ට කීවේ අදහාගත නොහැකි කතාවකි.
”මේ දවස්වල ලංකාවෙ ජනප‍්‍රියම ගායකයා ඔයයි සමන් අයියෙ.”
සමන් ජයනාත් සිනාසුනත් ඔහුගේ උමාට රටක් වසඟව සිටින බව විශ්වාස කළේ නැත. එහෙත් ඒ වන විට උමා රට හොල්ලා තිබිණි.අනතුරුව සමන් ජිනදාසව ගී ලොව රජකරවූයේ මහේෂිකාය. උමා තරමටම ජනප‍්‍රියත්වයට පත්වූ මහේෂිකා ගීතයේ පද රචනා කළේ වෛද්‍යවරයකු වන යසනාත් ධම්මක බණ්ඩාරය.
ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩරුව
නුඹම නොවෙද හිත රජවුනු
මහේෂිකාවී
මේ ගී පදවැල සංගීතවත් කළේ නවරත්න ගමගේය. නවාගේත් සමන්ගේත් දීර්ඝ කාලීන මිත‍්‍රත්වයට පදනම දැමුවේද මේ මහේෂිකාමය. කලින් ගැයූ උමා, සලාම් කියා මෙන්ම මහේෂිකාවී ඇතුළු ගී දහසයක් එකතු කර ඔහු සිය පළමු සහ එකම සංයුක්ත තැටිය නිකුත් කළේ දෙදහ වසරේදීය. එය සඳ පහන් රැුයක නම් විය. රත්න ශ්‍රී විජේසිංහ ලියූ තණමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්න බන්දුල නානායක්කාරවසම් ලියූ බිසරුලියන් මැද මෙන්ම යහන පාළුයි, දඹුලූ විහාරෙට, තාරකාවියේ වැනි ජනප‍්‍රිය ගීත දහසයක් මෙම ගී එකතුවට අන්තර්ගත විය. මේ ගී නිතර දෙවේලේ ප‍්‍රචාරය වුවද සමන් ජයනාත් ඉන් පසුව ගී නොගැයුවේ ඔහු ලංකාවෙන් නික්ම ඝානාවටත් යළි බහරේනයටත් ගිය බැවිනි. ඒ අනුව ඔහු අලූත් ගීතයක් ගැයීම සංගීත ලෝලීන්ගේ සතුටට හේතුවකි.
ඔබ මේ අලූතින් ගීත ගයන්න පටන් ගත්තෙ දෙවැනි සංයුක්ත තැටියටද?
සමන්ගේ නිර්මාණ අස්වැන්න සඳ පහන් රැයකට පමණක් සීමා කළ නොහැකි බැවින් මම අසමි.
”දැන් සී.ඞී. කර්මාන්තය කඩාවැටිල තියෙන්නෙ. අපි අමාරුවෙන් කරන සී.ඞී. පහුවෙනිදා ඉඳල වෙළඳපොලේ හොරට විකුණනවා. ඒ නිසා දැන් කරන්න තියෙන හොඳම දේ තමයි සිංදුව කරල යූ ටියුබ් එකට මුදාහරින එක. එතකොට රසික ප‍්‍රතිචාර මොනවගේද කියලත් දැනගන්න පුළුවන්... සමන් කියයි.
”අනිත් එක දැන් ආයෙ අපේ සුභාවිත ගීතයට තැනක් ඇවිත්... සුභාවිත ගී ප‍්‍රියකරන පරපුරක් ආයෙමත් ඉන්නවා. මගේ අලූත් සිංදුව අහපු විශාල රසික පිරිසගෙන් වුනත් ඒ බව තේරුම්ගන්න පුළුවනි.”
”ඒ කියන්නෙ තව තවත් නිර්මාණ කරන්න ඔබේ කැමැත්තක් තියෙනව කියන එකද?”
මම අසමි
ඔව්... නිහඬව හිටියා ඇති කියලා මට හිතෙනවා. මම සිංදු කියන්නෙ මුදල් හම්බ කිරීමට නෙමෙයි, ඒ නිසා මම හොඳ සුභාවිත ගී කිහිපයක් ඉදිරියේදී ගායනා කරනවා....”
ඒ සමන්ය.
එහෙත් මෙම මස කෙළවර සමන් යළි බහරේනය බලා නික්ම යන බවද ලියා තැබිය යුතුය.