සුදුවෑන් කතාවේ දෙදෙනා අද උසාවියට


(නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධියක්  සම්බන්ධයෙන් අනාවරණය කළ සැකකරුවන් දෙදෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසීය.

පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වදහිංසා පැමිණවීම යන චෝනා මත ඉකුත් 13 වැනිදා රාත්‍රි 7.45 පමණ කඩවත මහර ප්‍රදේශයේ හෝටලයකදී මෙම සැකකරුවෝ දෙදෙනා
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අනුමැතියෙන් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා පැවසීය.

මෙලෙස රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබීමෙන් පසුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක (46) සහ අහුගම්මන, අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (45) යන දෙදෙනාය.

මෙම මාධ්‍ය හමුවට ඉදිරිපත් වීම සඳහා තමන්ට රුපියල් ලක්‍ෂ 20ක් (එක් අයකුට රුපියල් ලක්‍ෂ 10ක් බැගින්) දුන් බවට මොවුන්ගෙන් කරනු ලැබූ  ප්‍රශ්න කිරීම් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු තමන් දෙදෙනාට ඇමරිකාවෙන් ගෙවල් දෙකක් ලබාදෙන බවට ද පොරොන්දුවක් ලබාදීම මත මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ බව සැකකරුවන් දෙදෙනා සිය ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.