සීඑස්එන් පෙත්සම් විභාගය කල් යයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
තම විකාශන බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව ගොනු කර තිබූ රිට් පෙත්සමේ පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් අතර ඇති වී බව කියන සමථය ගැන සලකා බැලීම ලබන අගෝස්තු 03 වැනිදා තෙක් කල් තැබීමට  අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය.

සමථයක් නොමැති නම් පෙත්සම පිළිබඳ විභාගය එදිනම ඇරඹීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.

සී.එස්.එන් නාලිකාවට ලබා දී ඇති සංඛ්‍යාත එදින තෙක් වෙනත් අයකුට පැවරීමකින් තොරව පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණය දැනුම් දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා 2011 දී සී.එස්.එන් නාලිකාවට විකාශන බලපත‍්‍රය ලබා දුන් නමුත් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා එම බලපත‍්‍රය ආපසු කැඳවූ බව පෙත්සමේ සඳහන් වෙයි.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද විකාශන බලපත‍්‍රය ආපසු කැඳවීමට ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමකාර නාලිකාව සිය පෙත්සමින් ඉල්ලා ඇත.