සිවිල් බළකාය කොටි පුල්ලි මකයි


මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් පැරණි කොටි බලකොටුවේ අවසන් සටනේදී රජයේ හමුදා භාරයට පත්ව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෝ 2500 දෙනා සිවිල් ආරක්ෂක බළකායට බැඳී පුහුණුව නිම කළහ. මුලතිව් විශ්වමඩුවේ අක්කර දෙදහසක වගා බිමක් සමූහ ගොවිපලක් ලෙස සංවර්ධනය සඳහා ඔවුනට බාර කැරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට ගොවිපළ බාරදුන්නේය. කොටි සන්නද්ධ අංශයේ චාල්ස් ඇන්තනී බළකායේ අණදෙන්නා වූ වී රඝුනාදන් ද පුනරුත්ථාපනය වූ පිරිසේ සිටියි. ඔහු ද සිවිල් ආරක්ෂක බලකායට බැඳී සිටියි. රඝුනාදන් මෙසේ ප්‍රකාශ කළේය. ‘වෙල්ලමුල්ලි වයිකාල් සටනේදී අපි හිතුවේ උතුරේ දෙමළ ජනතාවගේ ජීවිත මේ සටන සමග ඉවරවේවි කියලයි. නමුත් අද මම තේරුම් ගත් දෙයක් ඇත. දෙමළ ජනතාව ජීවත්වීම ආරම්භ කළේ එදා බවයි මගේ වැටහීම.‘ ‘අපි ජනාධිපතිට ණයගැතියි. තුවක්කුව හැර වෙනත් කිසිවක් නොදැක නොදැන සිටි අප තුවක්කුවෙනුත් මරණයෙනුත් බේරාගෙන ජීවිතය කුමක්දැයි කියා දුන්නට ස්තුතියි.‘ මම කියන දේ හරිනම්, මාත් එක්ක එකඟ නම් ඒ බව කියන්නැයි සිවිල් ආරක්ෂක බලකායට බැඳුණු තම සගයින්ගෙන් ඔහු ඉල්ලා සිටි අතර, එම තරුණ පිරිස ද එක පයින් එය අනුමත කළහ.