සිවාජිලිංගම්ට සහය දැක්වීයැයි ටෙලෝ මහලේකම් ඇතුළු තිදෙනෙක් පක්ෂයෙන් ඉවතට


(එෆ්.අස්ලම්)
 
ජනාධිපතිවරණයේ  ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාට සහාය දැක්වීම මහ ටෙලෝ සංවිධානයේ මහ ලේකම් එන්.ශ්‍රීකාන්තා ඇතුළු  සාමාජිකයින් තිදෙනෙකු ඔවුන් දරන සියළු තනතුරුවලින් ඉවත් කිරීමට ටෙලෝ සංවිධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ.
 
 මෙලෙස තනතුරුවලින් ඉවත් කර ඇත්තේ ටෙලෝ සංවිධානයේ මහ ලේකම් එන්.ශ්‍රීකාන්තා,එම සංවිධානයේ යාපනය දිස්ත්‍රීක් සංවිධායක සිල්වෙස්ටර් විමලරාජ්, උප සංවිධායක ජයරත්නම්  ජනාර්ථන් යන තිදෙනාගේය.
 
ටෙලෝ සංවිධානයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය පක්ශ කාර්යාලයේදී  ඊයේ (23) කැදවූ නායකත්ව මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව ටෙලෝ සංවිධානයේ නායකත්ව මණ්ඩල සාමාජික හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී වින්දන් කනකරත්නම් මහතා පැවසීය.
 
ටෙලෝ සංවිධානය  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට  තීරණය කර තිබියෙදී ස්වාධීනව මැතිවරණය සදහා ඉදිරිපත්වූ හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතාට සහාය දැක්වීම මත මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි ද හෙතෙම කීය.
 
ටෙලෝ උපසභාපති ධූරයෙන්  සිවාජිලිංගම් ඉවත් කරනු ලැබුවේ ද පක්ෂයට පටහැනිව කටයුතු කිරීමක් සිදුකළ නිසාවෙන් වීමත් එම ඉවත් කිරීම සිදුකළ මහලේකම්වරයාම පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සිවාජිලිංගම්ට සහාය දැක්වීමත් ඊට පක්ෂයේ සංවිධයකවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් එක්වීමත් මත  මොවුන් පක්ෂයේ  විනය කඩකිරීමක් සිදුකර ඇති බවට චෝදනා එල්ල කර ඇත.
 
තනතුරු වලිම් ඉවත් කළතිදෙනාම පක්ෂ විනය කඩකිරීම පිළිබද ලිඛිත කරුණු දැක්වීමක් ලබන 3 වනදාට පළමුව ඉදිරිපත් කරන ලෙසට  දැනුම් දී ඇති අතර එම කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් පක්ෂ සාමාජිකත්වය පිළිබද තීරණයක් ගැනීමට නියමිතය.