සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් තොග නෑ


(යොහාන් භාසුර)

ඛනිජ තෙල් සංස්ථාව සිපෙට්කෝ පිරවුම් හල්වලට ලබාදෙන ඉන්ධන තොග කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් පෝලිම්වල රැඳී සිටීමෙන් ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (28) පස්වරුවේ පැවසීය.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට සතියකට වරක් හෝ දෙවරක් සුළු ඉන්ධන තොගයක් පමණක් ලැබෙන බවත් පෝලිම්වල සිටින ජනතාවට ලබාදීමට එම තොගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.

අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලට සතියකට අවම වශයෙන් ඉන්ධන තොග හතරක් පමණ ලැබෙන බව කී නාඔටුන්න මහතා සඳහන් කළේ රටපුරා ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 1200 ක් සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම තත්ත්වයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්ය.

බලශක්තිය අමාත්‍යාංශය කුමන ක්‍රමය අනුගමනය කළ ද ඉන්ධන තොග නොමැතිනම්කිසිදු ක්‍රමයක් සාර්ථක නොවන බව ද නාඔටුන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.