(උපාලි ආනන්ද)
හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය.
ඊට අමතරව සැකකරුට රුපියල් 1,000ක දඩයක්ද නියම කෙරිණ.
මෙසේ දඬුවම් නියම වූයේ හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකුටය.
මෙම සිද්ධියට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ අවස්ථාවේ තමන් වරද පිළිගන්නා බව පැමිණිලිකාර සාමනේරු හිමිවරුන්ට විවෘත අධිකරණය්දී වැඳ නමස්කාර කරමින් සැකකරු ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබීය.
සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික පහරදීම සම්බන්ධයෙන් සැකකරු ලැජ්ජාවට පත් විය යුතු බව ඔහුට දඬුවම් නියම කරමින් ප‍්‍රකාශ කළ විනිසුරු අල්විස් මහතා සැකකරු සම්බන්ධයෙන් යළි මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඔහුට උපරිම දඩුවම් ලබාදීමට අධිකරණය පසුබට නොවන බවටද දැන්වීය.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප‍්‍රතාප් සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් කැබිතිගොගල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ මෙම සිද්ධිය පිලිබදව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතාගේ නියෝග මත පොලිස් කන්ඩායම් තුනක් මගින් විමර්ශන මෙහෙයවූ බවයි.
අදාල සියලු විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවද අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සැකකරු මෙම පරදීම සිදු කර ඇත්තේ ආගමික ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් නොවන බවට එම විමර්ශනවලදී තහවුරු වී ඇතැයිද කීවේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව මුල් බී වාර්තාව මගින් ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සඳහන් කළේ සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.
එම වෙළෙද සැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් ෙඉකුත් 10 වන දින පැමිණි අවස්ථාවේ සැකකරු මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය. රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාමනේර දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙඳ සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව පොලිස් විමර්ශනවලදි තවදුරටත් හෙළි වී ඇතැයිද අවධාරණය කළේය.
සැකකරු සාමනේර හිමිවරුන්ගේ පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානය අසළ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවද කීවේය.
සැකකරුගේ පහරකෑමට ලක් වූ සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.
කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය..

