සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති - සජබ සාකච්ඡාව අද


(නිමල කොඩිතුවක්කු සහ සුජිත්හේවා ජූලිගේ)

රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත අද (5) පස්වරු තුනට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සහ සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයන් එම මෙම හමුවට සහභාගී වන බවත් මහලේකම්වරයා පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ආරාධනාවට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් හෙතෙම පැවසීය.

වර්තමාන රජය සාමකාමී අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුකරන මර්දන කාරී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තීන්දුවක් ගන්නා බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් කීවේය.