සයිටම් යෝජනාව එජාපයේ විරෝධතා නිසා ඉවතට


(අජිත්ලාල් ශාන්තඋදය)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර මහතා සබරගමු පළාත් සභාව වෙත ගෙනා යෝජනාවක් විපක්‍ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ විරෝධතා හේතුවෙන් විවාදයට නොගැනීමට එහි සභාපති කංචන ජයරත්න මහතා අද (11) පියවර ගත්තේ ය.

ගුණසේකර මහතා ගෙන ආ යෝජනාවක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබුණි. සභාපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කිරිමට මන්ත‍්‍රීවරයාගේ නම ප‍්‍රකාශයට පත් කළ අතර යෝජනාව ඉදිරිපත් කිරිමට ගුණසේකර මන්ත‍්‍රීවරයා නැගී සිටි අවස්ථාවේ එජාප මන්ත්‍රී ඩබ්. සෝමදාස මහතා නැගී සිටිමින් රීති ප‍්‍රශ්නයක් මතු කළේය.

පළාත් සභා රීති අනුව අධිකරණයක විභාගවන හෝ තීන්දුවක් දීමට නියමිත කරුණක් සම්බන්ධයෙන් පළාත් සභාවකට යෝජනාවක් ගෙන නොහැකි බව රීතිය පැහැදිලි කරමින් කරුණු දැක්වූ විපක්‍ෂ නායකවරයා එම යෝජනාව සාකච්ඡා කිරිමට නොහැකි බව කීවේ ය.
සයිටම් ආයතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩුවට ඇතුළත් වීමට අවසර දී ඇති බවත් ජාතික පුවත්පතක් පෙන්වමින් විපක්‍ෂනායකවරයා කරුණු දැක්වීය.

ඒ අවස්ථාවේ එජනිස මන්ත‍්‍රීවරු රීති ප‍්‍රශ්නය ආදළ නොවන බව පැවසූහ. පුවත්පතක ඇති තොරතුරු නොව නඩුවක් ඇත්නම් එහි අංකය කුමක් ද, කුමන අධිකරණයක ද, කවදා ද යන තොරතුරු ඇත්නම් රීති ප‍්‍රශ්නය පිළිගන්නා බව කියමින් යෝජනාව ඉදිරිපත් කිරිමට ඔවුහු අවසර ඉල්ලා සිටියහ.

සභාපති කංචන ජයරත්න මහතා පැවසුවේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ඇති බව තමන්ද පුද්ගලිකව දන්නා බවයි.සයිටම් ආයතනය ගැන වූ යෝජනාව මෙදින ඉදිරිපත් කිරිමට අවසර දියනොහැකි බව සභාපතිවරයා දැනුම් දුන්නේය.