සමෘද්ධි සහනාධාර සමීක්ෂණයේදී අමුතු ප්‍රශ්නයක්


(විනීතා එම් ගමගේ)

සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා කළ සමීක්ෂණයේ දී තුන්වේල කන්නේ දැයි පුදුම සහගත ප‍්‍රශ්නයක් අසා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

තුන්වේල නොකන මිනිස්සු මේ රටේ නැති බව  නොදන්නා, මේ ප‍්‍රශ්නය හැදු තැනැත්තා කවුදැයි තමන් තවම සොයන බව ද ඇමතිනිය කියයි.  

මෙම ප‍්‍රශ්නය ඇත්තේ එකී සමීක්ෂණයේ 17 වන පිටුවේ යැයි කී ඇමතිනිය මෑතක දී කළ එම සමික්ෂණය හෙළා දකින බවත් පවසයි.

පසුගිය දිනවල සමෟද්ධිය කපා දැමූ බවට ආන්දෝලනයක් පැවති බව පැවැසූ අතුකෝරල මහත්මිය පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාරය දේශපාලනීකරණය වි තිබු බව රහසක් නොවේ යැයි ද කියයි.

විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය හරහා සෑම පහසුකමක්ම ලබා දෙන බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
 
ඇය මේ බව කීවේ ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය මගින් අම්පාර දිස්ති‍්‍රක්කයේ විගමණික ශ‍්‍රමිකයින්ගේ ගැටලූවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති වැඩසටහනට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.

”පහුගිය දවස් වල ලොකූ ආන්දෝලනයක් තිබුණා සමෘද්ධිය කැපුවා කියලා. එහෙම එකක් නැහැ. මේ පණිවිඬේ අපි පුලූවන් තරම් දෙන්නේ. සමීක්ෂණයක් කරලා තියෙන්නේ  හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ  .ගමේ විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන අය තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ලබා දීලා තියන තොරතුරු අනුව එයාලම කැපුවා කියනවා. එයාලම ලිව්වා කියනවා. මේක පුදුම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරලා . “

“සියලූ දෙනාම දැනුවත් වෙන්න  ඕනි. සමෟද්ධිය දෙන්නෙ මේ රටේ අඩු වරප‍්‍රසාද තියන අඩු ආදායම්ලාභී අයට. පහුගිය දවස් වල ඒක සම්පූර්ණයෙන්ම ලබා දුන්නේ දේශපාලනීකරණය මත. “

“තවත් අහලා තියෙනවා මස් මාළු කනවද කියලා. මේක පුදුම නීතියක් බවට පත්කරන්න යනවා. මිනිස්සුන්ගේ ආදායම හොයන්නේ මේකෙන්ද. අපි ඒක හෙලා දකිනවා. නියම වශයෙන් ජනාධිපතිවරයා පිළිබඳ මේ රටේ මිනිස්සු විශ්වාසයක් තිබ්බේ මේ රටේ සියළුම පක්ෂ එකතුවෙලා ගෙනියන මේ සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව.“