සපත්තුවෙන් කෝටි තුනක රන් පනී


රුපියල්  කෝටි තුනක් පමණ වටිනා රත්තරන්  බිස්කට්  හයක්  සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස  මෙරටට රැගෙන ආ  ඉන්දීය ජාතිකයෙක්  සහ එම රන් තොගය ගුවන්තොටුපොළෙන් පිටකිරීමට  සහය  දුන් බව කියන ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු  සේවකයෙක්   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

වයස අවුරුදු 40 ක්  පමණ වු ඉන්දීය ජාතිකයා මෙරටට නිතර නිතර යන එන ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ශ්‍රී ලාංකිකයා මීගමුවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්නට්  වල බර කිලෝග්‍රෑම් හයකි.

ඉන්දීය ජාතිකයා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 304 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කරන ශ්‍රී ලංකික සේවකයෙකුට ඉතා රහසිගත ලෙස මෙම රන් තොගය බාර දී ඇත.

ඔහු මෙම රන් කැබලි සපත්තු  වල සහ කලිසම් සාක්කුවල සගවාගෙන  ගුවන්තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වෙද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.

රේගුව විසින් ප්‍රශ්ණ කිරීමේදී  ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ සිංගප්පුරුවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රන් කැබලි ශ්‍රී ලංකාවට ගෙන යාම සඳහා ලබා දුන් බවත් තමන් කොමිස් මුදලක් බලාපොරොත්තු වෙන් මෙලෙස රැගෙන ආ බවයි.

ශ්‍රී ලාංකික තරුණයා පවසා ඇත්තේ තමන්ද කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් මෙලෙස ක්‍රියා කළ බවයි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  නිෂාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී  නුවන් අබේනායක යන නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට කළ විමර්ශනයනකින් අනතුරුව මෙම වැටලීම සිදු කොට ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  උපදෙස් මත නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂක ඩී.එම් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක,  රත්න කුමාර සහ  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  නිෂාන් ජයසිංහ, හසන්ත ගුරුගේ  සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදුකරති.