( අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) ඒකමතිකව තීරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ ඒකමතික අනුමැතිය යටතේ එම යෝජනාව සම්මත කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කෙරුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකවරයා නම් කිරීම සඳහාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස යෝජනා කිරීමත් සමඟ ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුර්ණ අනුමැතිය පළවූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම සාමාජිකයන් අත්පොළසන් දෙමින් එම යෝජනාව අනුමත කළ බව ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මුලික ප්‍රතිපත්ති අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වලද සහයෝගය ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරා ගෙන යා යුතු බව පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමත් සමඟ සිරිකොත අවට රැස් වී සිටි පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ නගනු දැකගත හැකි විය.
(ඡායාරූල - ලහිරු හර්ෂණ)













