සචිනි ලෝක කාන්තා චෙස් ශූරතාවලියට යයි


රුසියාවේදී අද (11) ආරම්භවන ලෝක කාන්තා චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකාවේ ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණසිංහ සහභාගිවන්නීය. සචිනි, අද පැවැත්වෙන පළමු තරගයේදී ලෝක චෙස් ශූරී චීනයේ හු යැයිෆැන් සමග තරග වැදීමට නියමිතය. ඇය හෙට රුසියානු ක‍්‍රීඩිකාවක් සමගින් තරග වදියි. අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වන සචිනි ජාතික කාන්තා චෙස් ශූරතාව තෙවරක්ම දිනා සිටියි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන ඇය පසුගිය වසරේ මෙන්ම 2009 වසරේද ශූරතාව දිනාගෙන තිබේ. පසුගිය වසරේදී කොළඹදී පැවැති ශ්‍රී ලංකා චෙස් ආසියානු කලාප චෙස් තරගාවලියේදී සචිනි, කාන්තා ශූරතාව දිනා ගනිමින් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය (කාන්තා) හිමි කරගත්තාය. මෙම ජයත් සමග සචිනි ලෝක කුසලාන චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද හිමි කර ගත්තාය. ලොව හොඳම චෙස් ක‍්‍රීඩිකාවන් 64 දෙනකු තරගවදින ලෝක කාන්තා චෙස් ශූරතාවලියකට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන පළමු ක‍්‍රීඩිකාව වන්නේ සචිනියි.