‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ මෙතැන වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි මොකේ වැඩ කළත් රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා මහරගමදි පැවසීය.
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
කොට්ටාව නගරයේ බස් නැවතුම්පළ ඉදිකිරීමේ ප්‍රගතිය ගැන කොඩිකාර මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ බී කේ ජී සෝමසිරි මහතා පැවැසුයේ කොට්ටාව නගරයේ බස් නැවතුම ඉදිකිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරි පනතේ 38 ඒ වගන්තිය ප්‍රකාර පළමුව ඉඩම් මැනීම සිදු කැර පිඹූරුපත් සකසන බවයි. එයට අනතුරුව තක්සේරු වාර්තා සකසා වන්දි ගෙවන්නේ ඔහු කීවේය. කොඩිකාර මහතා මෙම ප්‍රකාශය කෙළේ ඉන් අනතුරුවය.
නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන වැඩ පළාතේ දේශපාලනඥයින්ටත් දැනුම් දිය යුතුයි ඔබලා රජයේ වැටුප් ලබන පිරිසක් අපට අවශ්‍ය විදියට හැර ඔබට අවශ්‍ය විදියට මේ සංවර්ධන කටයුතු සිදු වන්නේ නෑ. අතැන වළක් හාරනවා මෙතැන වලක් හාරනවා නාගරික සංවර්ධන අධිකාරිය මොනවද මේ කරන වැඩ?. ඇමැතිවරයා එසේ ද ප්‍රශ්න කෙළේය.

