ශූරයා විමන් : ශූරිය සචිනි


ලෝක චෙස් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා චෙස් සංගමයේ සහයෝගයෙන් ගම්පහ බුද්ධි චෙස් පාසල තෙවැනි වරටත් සංවිධානය කළ ‘බුද්ධි’ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක විමන් භාග්‍ය සමත්විය. ශූරතාව වෙනුවෙන් විමන්, රුපියල් 60,000 ක මුදල් ත්‍යාගයක් සමග ශූරතා කුසලාන සහ රන් පදක්කම දිනා ගත්තේය. විමන්, තරග වට 9 කින් පැවැති තරගාවලියේදී ලකුණු 8.5 ක් ලබා ශූරයා බවට පත්විය. ගම්පහ ලින්රෝස් හෝටලයේදී පැවැති මෙම තරගාවලියට ජර්මන් සහ මාලදිවයිනේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමග ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 250 දෙනෙක් සහභාගිවුහ. තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමුණ ත්‍යාග මුදල රුපියල් 300,000 කි. ජාතික චෙස් ශූර ඉසුරු අලහකෝන් ලකුණු 8.0 ක් ලබා අනුශූරතාව හිමිකරගත් අතර ඔහුට රිදී පදක්කම සමග රුපියල් 40,000 ක ත්‍යාග මුදලක් හිමිවිය. කේ.ඞී. ෆොන්සේකා ලකුණු 7.5 ක් ලබා ලෝකඩ පදක්කම ලැබීය. ජී. සී. අනුරුද්ධ සහ ජර්මන් ක‍්‍රීඩක බ්‍රෙන්ඞ් දේවර්කවුසෙන් ලකුණු 7.5 ක් ලබාගත් සෙසු ක‍්‍රීඩකයෝ වුහ. ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ කාන්තා ශූරතාව දිනා ගත්තාය. ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම චෙස් ක‍්‍රීඩිකාව වන සචිනි, ලකුණු 7.0 ක් ලබා රුපියල් 10,000 ක මුදල් ත්‍යාගය හිමිකර ගත්තේය. මිහිරාණී ජයතිලක සහ බිනුඳි සෙනරත් පිළිවෙළින් කාන්තා දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වු හා ඇතුළත් නොවු ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම වයස 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ හා 15 න් පහළ (බාලක/බාලිකා) කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ද තරග පැවැත්විණ. බුද්ධි චෙස් පාසලේ ප‍්‍රධාන පුහුණුකාරිණිය ලෙස බුද්ධි නිරුක්‍ෂි පනාගොඩ මෙනෙවිය කටයුතු කරයි. ශූරතා අතැතිව සිටින  විමන් සහ සචිනි... ගම්පහ නගරාධිපති එරංග සේනානායක, ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලේකම් ලක්ෂ්මන් විජේසූරිය, හිටපු ඔලිම්පියාඞ් රන් පදක්කම්ලාභිනි සුනීතා විජේසූරිය යන මහත්ම මහත්මීන් සමග බුද්ධි චෙස් පාසලේ ප‍්‍රධාන පුහුණුකාරිණිය බුද්ධි නිරුක්ෂි පනාගොඩ මෙනෙවියද මෙහි වෙයි.