හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා කල් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැමිණ සිටියාය.
වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට පරිගණක සාක්කි ලබා ගැනීමට ඇති හෙයින් කල් දෙන්නැයි රත්නායක මහතා ඉල්ලා සිටියේය.
බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අඩු ගණනේ නීතීඥවරු සියයක් පමණ පෙනී සිටියහ.
ඇගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ සත පහක මුදලක් නැති ගිනුමක් සම්බනධයෙන් ඇය වැරදි කාරිය වුවද දඩය රුපියල් දහසක් වනු ඇති බවයි. මෙය හුදෙක් පලි ගැනීමේ චේතනාවෙන් පවරන්නට යන නඩුවක් බව ද ලද්දුවහෙට්ටි මහතා කරුණු දැක්වීය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ශ්‍රීනාත් පෙරේරා මහත්වරුන් පැවසුවේ පළිගැනීමේ චේතනාවෙන් පවරන්නට යන මේ නඩුවෙන් හිටපු අගවිනිසුරුවරියට යුක්තිය හා සාධාරණය ඉටුවේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර නීතිවේදීන් සමග ක්‍රියා කරන බවයි.
බණ්ඩාරනායක මහත්මියගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඇගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගත්තේය.
විදෙස් ගමන් අවශ්‍ය වුවහොත් අධිකරණයෙන් අවසර ගත යුතු යැයි ද ඇයට දැන්විණි.
ලබන පෙබරවාරි 19 වැනිදාට නඩුව කල් තැබිණි.