ශ්‍රීලනීප ලේකම්ගේ මූලික විරෝධතාව කල් යයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ විමසීම ලබන 29 වැනිදා සිදුකිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය.

එම පක්ෂයේ සාමාජිකයින් දෙදෙනකු විසින් එම පැමිණිල්ල ගොනු කර තිබිණි.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අතර එහිදී එම විරෝධතාව පිළිබඳ විමසීම් විභාගය එදිනට කල් තැබීමට ප‍්‍රධාන දිසා විනිසුරුවරයා තීන්දු කළේය.

වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්  අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත් දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.
 

ඉකුත් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව පක්ෂයේ සාමාජිකයින් රටපුරා විසිරී සිටින අවස්ථාවක එනම් දුරකථනයෙන් පවා සම්බන්ධ කර ගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි වගඋත්තරකාර පක්ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා  අත්නෝමතික හා නීතීවිරෝධී ලෙස ඔහුට පමණක් සීමාවූ හේතු මත හිතුවක්කාර ලෙස සභාපතිවරයෙක් පත් කර ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.

 
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එම පක්ෂයේ සභාපතිවරයා බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් , 2015 ජනවාරි 16 වැනිදා දක්වා විධායක සභාවේ හා මධ්‍යම කාරක සභාවේ පැමිණිලිකරුවන් දැරූ තත්ත්වයේ වෙනසක් නොමැති බවට අධිකරණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටි.