ශ්‍රීලනිප පළාත් මන්ත්‍රී සංසදයේ මත ගැටුම්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව අද සවස බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ දී හමුවීමට පෙර පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැත්විණි. එහිදී මාධ්‍යෙව්දින් කැඳවීමට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටියේ තමන් පැමිණියේ සාකච්ඡාවකට බවත් මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නොවන බවයි. දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා අදහස් දක්වමින් විධායක සභාවට ඉදිරිපත් කරණ නව ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අදහස් දැක්වීම ආරම්භ කළේය. එහිදී පසුගිය ජනාධිපතිවරණයේ පරාජය විශේලේෂණය කැර එය පක්ෂයට ඉදිරිපත් කළ යුතු යැයි කීමත් සමග පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ තමන් පැමිණියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කැර ගැනීමේ යෝජනාවක් ගෙන ඒමට බවයි. තමන් පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් පක්ෂය කැඩීයාමට ඉඩදිය නොහැකි බවත් ආරියතිලක අමාත්‍යවරයා කියා සිටියේය. පසුව සංසදයේ සාකච්ඡාවක් පවත්වා පසුව යලි ඔවුන් මාධ්‍ය හමුවට පැමිණියහ. මුලින් මුලසුන දැරූ ආරියතිලක පළාත් අමාත්‍යවරයා එහි සිටියේ නැත. හදිසි පණිවිඩයක් පැමිණ ඔහු ඉවතට ගිය බව දෙවැනිවර මුලසුන දැරූ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කීවේය.

එහිදී කතා කළ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිවරුන්වන චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් සකස් කළ යුතු යැයි තම සංසදය තීරණය කළ බවයි.

එමෙන් ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී සිටි සියළු පක්ෂ ඒකරාශී කරගෙන මැතිවරණයට යා යුතු බවටත් යෝජනා තුනක් සම්මත කැර ගත් බවත් ඒවා සවස සමස්ථ ලංකා කාරකසභාවට ඉදිරිපත් කරණ බවත් ඔවුහු කීහ.

කලින් මුලසුන දැරූ යූ.ජී.ඩී.ආරියතිලක පළාත් සභා අමාත්‍යවරයාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා කියා සිටියේ පක්ෂය දෙකඩ කරණ කිසිදු තීරණයකට තමන් එකඟ නොවන බවයි.