ශ්‍රී ලංකාවේ මට තැනක් නැති නිසා ක‍්‍රීඩා කරන්න ඕස්ටේ‍්‍රලියාවට යනවා


ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක‍්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් තමන් අන්තර් ක‍්‍රීඩා සමාජ තරගවලින් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දේශීය ක‍්‍රිකට් පිටියේ ප‍්‍රවේගකාරී පිතිකරුවකු සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන චින්තක ජයසිංහ පවසයි. කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේදී පෙරේදා (7) සවස පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චින්තක කියා සිටියේ තමන් දේශීය තරග බිම අතහැර  ඕස්ටේ‍්‍රලියාව බලා අද පිටත්ව යන බවයි. පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 34 හැවිරිදි චින්තක, පළමු පෙළ තරගවල අවස්ථා කිහිපයකදීම දක්‍ෂතම ක‍්‍රීඩකයා වී තිබේ. ඔහු පළමු පෙළ තරග 142 කට සහභාගිවී ලකුණු 6417 ක්ද, පන්දු යැවීමේදී කඩුලූ 104 ක් ද ලබා තිබේ. ”2010 වසරේ සහ පසුගිය වසරේ ලංකාවේ පළමු පෙළ තරගවල දස්කම් දැක් වු පළමු පිතිකරුවන් පස් දෙනා අතර මමත් සිටියා. එම වසර දෙකේදීම ලකුණු 750 බැගින් ලබා ගත්තා. පසුගිය වසරේ ලංකාවේ වේගවත්ම ශතකය ලබා ගත්තේ මමයි” ”ගෙවුණු තරගාවලි දෙකේදීම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා වුණෙත් මම. ඒත් මට ශ්‍රී ලංකා පිලේ කිසිම තැනක් ලැබුණේ නැහැ” යයිද චින්තක ජයසිංහ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. ”අඩුම තරමින් මෑතක නිමා වු හොං කොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියටවත් මා ඇතුළත්ව නොසිටියේ කුමන කරුණක් නිසාදැයි අදහාගන්න බැහැ” යයිද චින්තත මාධ්‍ය හමුවේදී පැවසීය. ඕස්ටේ‍්‍රලියාව බලා අද යෑමට සුදානම්වන චින්තක ඒ පිළිබඳව මෙසේ පැවසීය. මම  ඕස්ටේ‍්‍රලියාවට යන්නේ ලීග් ක‍්‍රිකට් තරගවලට සහභාගිවෙන්න.  ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කිරීමට මාස හයක ගිවිසුමකට එළැඹ සිටිනවා. ගිවිසුමේ කාලයට අනුව මම ලංකාවට ඇවිත් අපේ‍්‍රල් මාසයේදී ගිවිසුමකට අනුව එංගලන්තයටත් යනවා. පුළුවන් කාලයක් මම මේ රටවල් දෙකේ ක‍්‍රීඩා කිරීමයි අපේක්‍ෂාව. වාර්ෂික ගිවිසුමටවත් ඇතුළත් නොවන තමන්ට ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා කිරීමෙන් කළකිරීම මිස සිදුවන යහපතක් නැතැයි ද පැවසීය. ”දේශීය වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන් 60 දෙනා අතරවත් මම නැහැ. ඒත් ලකුණු 200, 300 ලබාගත් පිතිකරුවෝත් එම ගිවිසුම්වලට ඇතුළත්වෙලා ඉන්නවා” ”මේ කරුණු නිසා මම ගොඩක් ලංකාවේ ක‍්‍රිකට් ගැන කලකිරුණා. ඒ නිසාම තමයි තීරණය කළේ ලංකාවේ ක‍්‍රිකට් අතහැරලා මට පුළුවන් කාලයක් විදෙස් රටකදී ක‍්‍රීඩාවේ නිරතවෙන්න” යැයි චින්තක කීය. ”හොං කොං තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩකයන් හත්දෙනා ගත්තොත් ඔවුන්ට වැඩිය මම ඉදිරියෙන් ඉන්නවා. මම දන්නේ නැහැ තේරීම් කමිටු නිලධාරීන් කොහොම තේරීම් කරනවද කියලා” ”මේ අසාධාරණය සිදු වු එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා මම නොවෙයි” යයිද චින්තක ජයසිංහ පැවසීය. මම මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කළෙත් ඉදිරියේදීවත් ක‍්‍රීඩකයකුට මගේ මේ වචනෙකින් හෝ හොඳක් වේ සිතා යැයි’’ වසර කිහිපයකදීම හොං කොං සය සාමාජික තරගාවලියට සහභාගිවු ක‍්‍රීඩකයකු වූ චින්තක පැවසීය. ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නොසිටිය යුතු නිලධාරීන් කිහිප දෙනකු වසර 10 ක් තිස්සේ තේරීම් කමිටුවේ සිටින බව පවසන චින්තක ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විනාශයට හේතුව එයම බවද පෙන්වා දෙයි. ”බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේ පසුගිය වසරේ නායකයා ලෙස කටයුතු කළේ මමයි. තරග පැවැත්වෙන කාලයේදී එක තේරීම් නිලධාරියකු හැමදාම වගේ ආවා. ඉතිං ඔහු මගේ දස්කම් දැකලා තියෙනවා. මට සාධාරණයක් ලැබෙන්න තිබුණා” යැයි චින්තක පැවසීය. එස්. එල්. පී. එල්. තරගාවලියේ වසර තුනක ගිවිසුමකට තමන් ඇතුළත් බවත්, එස්. එල්. පී. එල්. තරගාවලිය විස්සයි20 තරගාවලියක් නිසා ඉදිරි වසර දෙකේදී ක‍්‍රීඩා කිරීමට අදහසක් තිබෙන බවත් පැවසීය. කෙසේ වෙතත් එම අවස්ථාව තමන්ට හිමිවේ යැයි නිශ්චිතව කිව නොහැකි බවද ඔහු පවසයි. වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයන් තේරීම සහ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩකයන් තේරීම සම්බන්‍ධයෙන් චින්තක මෙසේ අදහස් දැක්වීය. ”මෙම තේරීම් කරද්දී මම සිටියේ අයර්ලන්තයේ. එරට සිට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දුරකතනයෙන් ඇමතුමක් දී මගේ දස්කම් පිළිබඳව පැවසුවා. ඔවුන්ට ස්ථිර වචනයක් කියන්න සතියක කාලයක් ලබා දෙන්න යැයි පැවසුවත් අද වෙනකම් එම තීරණය මට දැනුම් දුන්නේ නැහැ යැයි” යයිද චින්තක පවසයි. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න වාසනාව හිමිවුවත්, ඊට වසර දෙකකට ඉහතදී තමන්ට එම අවස්ථාව හිමිවීමට තිබු බවත් ඔහු පෙන්වා දෙයි.  ඉදිරි දින කිහිපය තුළ සිදුවු අසාධාරණය දන්වලා පළමු පෙළ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීම පිළිබඳව ලිඛිතව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට දැන්වීමට චින්තක කටයුතු යොදා තිබේ. වසරකට ආසන්න කාලයක්  ඕස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේ ලීග් ක‍්‍රිකට් තරග සඳහා චින්තක සහභාගිවීමට නියමිතය. චින්තක ජයසිංහ මාධ්‍ය හමුවේදී.... (ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)