ශ්‍රී ලංකාවේ ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවේ සහාය


ශ්‍රී ලංකාවේ බරපතල ලෙස පැතිර යන ඩෙංගු රෝගය මැඩලීමට ඕස්ට්‍රේලියා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සහයෝගය ලබාදෙන බව ඕස්ට්‍රේලියා විදේශ ඇමැතිනී ජූලි බිෂොප් මහත්මිය අද(20) ප්‍රකාශ කර සිටියාය.

ඔස්ට්‍රේලියාව විසින් ලබාදෙන ඩොලර් 50000 ක ආධාර යොදාගනිමින් රෝහල්වල ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛතාව සහ රෝගී කළමනාකරණය පුළුල් කිරීම, පිරිසිදු කිරීම්, මහජන දැනුවත් කිරීම් සහ ආවේක්ෂණ පද්ධති ද ඇතුළත් වන පරිපූර්ණ ඩෙංගු වැළැක්වීමේ සහ පාලනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහාය දෙනු ඇතැයි ඇය කියා සිටින්නීය.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පැතිරීම අවම කිරීම සඳහා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ඩෙංගු රෝගය තුරන් කිරීමේ වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අතර හවුල්කාරිත්වයට ද ඇය දායකත්වය දුන්නාය.