වීරවංශ අත දිගහැර නෑයන්ට බෙදයි?


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය සමීප නෑයන් පස් දෙනකුට සහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය අංශ නිලධාරියකුට ජනතා මුදල් වැය කර අති සුඛෝපභෝගී නිවාස හයක් අඩු මුදලට ලබා දී ඇතැයි ද, ඒවා භාර දීමේ උත්සවයට රුපියල් ලක්ෂ 69ක් වැය කර ඇතැයි ද නිවා සහ සමෘද්ධි අමාත්‍යංශයට අයත් සීමාසහිත ඕෂන් විව් ඩිවෙලොප්මන්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

නිවාස සහ දේපොළ සංවර්ධනය සඳහා රජය විසින් පිහිටැවූ මුල්ම රාජ්‍ය සමාගම වන සීමාසහිත ඔෂන් වීව් ඩිවෙලොප්මන්ට් සමාගමේ පසුගිය කාලයේ සිදුවිනැයි කියන මූල්‍ය අක්‍රමිකතා රැසක් ගැන එම නිවේදනයේ සඳහන් වේ.

කිසිදු පිළිගත හැකි ආයතනික ක්‍රමවේදයකින් තොරව දින පොත් විසි දහසක් සහ දින දර්ශන 25,000ක් මුද්‍රණය කිරීමට රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් වැය කර ඇතැයි ද, සමාගම විසින් අලෙවිය සඳහා කහතුඩුවේ සහ මත්තේගොඩ ඉදි කරන ලද රුපියල් හත්කෝටි දස ලක්ෂයක් වටිනා නිවාස හයක් අඩු මිලට තක්සේරු කර ඇමැතිවරයාගේ ඥාතීන් අතර බෙදා දී ඇති බව ද සමාගම කියයි.

පුද්ගලයන් දොළොස් දෙනකු සේවයට බඳවාගෙන ඔවුන් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, ඔවුන්ට වාර්ෂිකව රුපියල් කෝටි හයක් වැටුප් ලෙසා ගෙවා ඇති බවත් සමාගම සඳහන් කරයි.

එම සමාගම හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට ප්‍රශ්න තුනක් යොමු කරයි. ඒවා මෙසේය.

  1. මත්තේගොඩ සහ කහතුඩුව සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රමවලින් නිවා ලබාගත් පිරිස හිටපු විමල් වීරවංශගේ ඥාතීන්ද නැද්ද යන්න ප්‍රකාශ කරන්න.
  2. ජනාධිපතිවරණය අතරතුර කඩිමුඩියේ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක දිනපොත් සහ දින දර්ශන මුද්‍රණය කිරීමට අදාළව ඇමැතිවරයාගේ සම්බන්ධයක් නැද්ද ?
  3. වසරකට රුපියල් කෝටි හයකට වඩා මහජන මුදලින් පඩි ගෙවමින් කිසියම් පිරිසක් නඩත්තු කළේ ද? නැද්ද?