වී මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගන්න මණ්ඩලය තීරණය කරයි


 

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී  අස්වැන්නෙන්  මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා රුපියල් මිලියන 10,500ක මුදලක් වැය කිරීමට යෝජිත බවත් ඒ සඳහා ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැති ගැනීමට කටයුතු  යොදා තිබෙන බවත් අමාත්‍යාංශය කියයි.

වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන මිල තීරණය කිරීමේ දී ගොවීන්ට හෙක්ටයාර් එකකට වී වගාව සඳහා වැය වන මුදල කොපමණදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, එම වියදම සළකා බලා වී කිලෝ ග්‍රෑම් එකක මිල තීරණය කරන ලෙසත් කෘෂිකර්ම   අමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

වී මිල තීරණය කිරීම සඳහා අමාත්‍යවරයා විසින්  කමිටුවක් පත් කිරීමට  පියවර ගෙන ඇතැයි ද එම කමිටුවේ සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

එම කමිටුවේ නිර්දේශය මත වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන මිල තීරණය කරන අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි එකී මිල ප්‍රකාශයට පත් කිරීමට යෝජිතය. වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා වී කිලෝ ග්‍රෑම් එකක මිල ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය