විස්සට එරෙහිව ‘පැෆරල්‘ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න යයි


(විනීතා එම් ගමගේ)

විසි වැනි සංශෝධනයට හා මැතිවරණ කල් දැමීමේ පාර්ලිමේන්තු කි‍්‍රයාදාමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට තීරණය කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

විසි වැනි සංශෝධනය ගෙන එන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි නියෝග  කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා  සිටීමට බලාපොරොත්තු වන බවත් ලබන සඳුදා (28) මේ සඳහා වන පෙත්සම ගොනු  කරන බවත් හෙට්ටිආරච්චි මහතා කියයි.

ඉදිරි දෙසතිය තුළ පළාත් පාලන කෙටුම්පත නීතිගත කර ගැනීමට නොහැකි වුවහොත් දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මේ වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එමෙන්ම මැතිවරණයක් සඳහා දින නියම  කිරීමට මැතිවරණ කොමිසමට ඇති බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම පිළිබඳව කනගාටුව පළ කරන බව ද හෙට්ටිආරච්චි මහතා කියයි.

මෙම කටයුත්ත ජනතා විරෝධි බවත් සංශෝධන නමැති සුදු පිරුවටයෙන් වසා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට මැතිවරණ නිරික්ෂණ සංවිධානවල දැඩි විරෝධය පළ කරන බවත් හෙතෙම පවසයි.
 
හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ රාජගිරිය කැෆේ සංවිධාන කාර්යාලයේ දී මැතිවරණ නිරික්ෂණ සංවිධාන පහක් එක්ව අද (24)  පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.