විශ්ව විද්‍යාල වෘත්තීය සමිති හෙට ක්‍රියාත්මක කිරීමට තිබූ විරෝධතාවය අත්හිටුවයි


(ආරියරත්න රණබාහු සහ ප්‍රින්ස් රත්නායක)

රාජ්‍ය සේවයට සාපේක්ෂව විශ්ව විද්‍යාල සේවක වැටුප්වල පවතින විෂමතාවය ඉවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පියවර ගැනීම මත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව හෙට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසයි.

එහෙත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වන අතර අදාල විසඳුම ලබන සදුදා 7 වැනිදා වනවිට ලැබුණහොත් වර්ජනය අවසන් කරන බව එම එකමුතුවේ උප සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වැටුප් විෂමතාවය පදනම් කරමින් දින 23 ක් තිස්සේ සිදු කරමින් තිබෙන තම වෘත්තිය සමිති එකමුතුවේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතා සුබදායි විසඳුමක් පළකළ බවය.

ඇමතිවරයා වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වන කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති අතර එය ජාතික වැටුප් කොමිසන් සභාව වෙත යොමුකර ඇති බවද ඔහු කීය.

එම විසඳුම පිළිබඳව තම වෘත්තිය සමිති එකමුතුවට අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ බවද එම කරුණු වෘත්තිය සමිති එකමුතුව පිළිගත් බවද සභාපතිවරයා කීය.

ඒ අනුව හෙට (03) වැනිදා සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග  කිරීමට ගෙන තිබූ තීරණය තීව්‍ර කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව කී සභාපතිවරයා ලබන සදුදා පූර්ණ විසඳුමක් ලැබුණහොත් වැඩවර්ජනය ද අවසන් කරන බවද ඔහු කීය.