පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බැවින් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරයන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවද කතානායකවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම එම දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් කතානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම පක්ෂ මහ ලේකම්වරයාගේ යුතුකමක් බවත් කතානායකවරයා විසින් කාරක සභාවට දන්වා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී භාර දුන් අවස්ථාවේදී මෙම කරුණු කතානායකවරයා විසින් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කතානායකවරයා විසින් කාරක සභාවට ඉදිරිපත් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල , රවුෆ් හකීම් , රවි කරුණානායක , දිනේෂ් ගුණවර්ධන , මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අමීර් අලි හා අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරු කාරක සභාවට සහභාගී වූහ.

