විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි


(රංජන් කස්තුරි)

විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට 150සීසී ධාරිතාවයට අඩු යතුරුපැදි මත පනවා තිබූ 90%ක නිෂ්පාදන බද්ද ඉවත් කිරීමටත් ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට අන්තර්ජාල සබඳතා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව යතුරුපැදි, කුඩා කැබ් රථ සහ කුඩා ලොරි රථවල මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇත.

එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.