විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට ලිඛිතව දැනුම් දෙයි


(තරිඳු ජයවර්ධන)

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

විජයදාස මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද (22) මෙලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විජයදාස මහතා ගැන විශ්වාසයක් නැතැයි ඒකමතිකව තීරණය වූ නිසා විජයදාස මහතා මෙලෙස එම ධූරයෙන් ඉවත් කරන ලෙස එජාපය ජනපතිවරයාට දැනුම් දී තිබේ.

ඔහු ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජනපතිවරයාට දැනුම් දී තිබේ.
 
අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ද ඒ මහතා ඉවත් කිරීමට නියමිතය.

සාමුහික වගකීම කඩ කිරීම නිසා ඔහුට නැවත කිසිම අමාත්‍ය ධුරයක් නොදීමට ද එජාපය තීරණය කර තිබේ.
 
එම අමාත්‍ය ධුරය මීළඟට ලබාදෙන්නේ කාටද යන්න මෙතෙක් ස්ථීරව තීරණය කර නොමැත.