වැසි සහිත කාලගුණ හෙට රාත්‍රිය දක්වා


(මනෝජ් හර්ෂික සහ ඩයනා උදයංගනී)

දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (25) රාත්‍රී කාලය දක්වා තවදුරත් පවතිනු ඇතැයි කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම බස්නාහිර, දකුණු,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200 වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බවත් වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.