වැස්ස තවත් වැඩි වන ලකුණු


(ඩයනා උදයංගනී)

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි දිනවලදී පළාත් කිහිපයන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එම මෝසම් තත්ත්වය ලබන 27 වැනිදා වන විට සම්පූර්ණයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත්, ඉන්පසු උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
සෙසු ප්‍රදේශවල ද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය.
 
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල සහ පොළොන්නරුව, දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, මුලතිව්, වවුනියාව, අනුරාධපුරය, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40-50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා පැවසීය.
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක්ද පැවතිය හැකි බව හෙතෙම ප්‍රකාශ කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

එමෙන්ම දිවයිනට නැගෙනහිර, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි හා පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
 
                එබැවින් මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළු විය හැකි නිසා ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව හෙතෙම සඳහන් කළේය.