වැලිවේරියේ ළිං වතුරේ වස


වැලිවේරිය ප්‍රදේශයේ ගම් පහක ලිං වතුර බීමෙන් උගුරේ දැවිල්ල හා ඇගේ තුවාල මතුවීමට හේතුව සොයා පිරිසිදු පානීය ජලය සපයා දෙන්නැයි ගැමියෝ අදත් වීදි බැස සිටිති.

පොලිසිය ද මාර්ග බාධක ගෙනවුත් සූදානමින් සිටියි.

මේ ගැන සාකච්ඡා කිරීමට ගාම නිලධාරයෝ රතුපස්වලට කැදවූ නමුත් ඔවුන් නොපැමිණි බව ගැමියෝ කියති.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ වගකිව යුතු පුද්ගලයකු කතා නොකළ නිසා ග්‍රාම නිලධාරීන් එම ස්ථානයට නොයන්නට ඇති බවයි.

ගම් පහක 1500ක් පමණ මේ වන විට එම පිට්ටනියට රැස්ව සිටිති.

ඔවුන් පැවසුවේ ගමේ වගකිව යුත්තා ග්‍රාම නිලධාරී බැවින් තමන්ගේ ගැටළුවට පිළියම් සෙවීමට ග්‍රාම නිලධාරීන්  මැදිහත් විය යුතු බවයි.

තමන් සාමකාමීව රැස්වීම සංවිධානය කළත් ගැටළුවට පිළියම් සෙවීමට කිසිම වගකිවයුත්තකු නොසිටීම ගැන කණගාටු වන බවත් ඔවුහු කියති.

වැලිවේරියේ හා රතුපස්වල හන්දියේ පොලිසියේ හා හමුදාවේ සියයක් පමණ රැස්ව සිටින අතර මාර්ග බාධකද සූදානමින් තබා ඇත.