වැලිපැන්න-කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවෙයි


(සිරංගිකා ලොකුකරවිට)

මහ වැස්සෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.
 
කොක්මාදුව පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට කොක්මාදුවෙන් පිටවීමට  නොහැකි වී තිබේ.
 
වැලිපැන්න පිවිසුම අසළ ජලයෙන් යටවීම හේතුවෙන් අලුත්ගම දෙසට වාහන ගමන්කිරීම හෝ අලුත්ගම දෙස සිට පැමිණ අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීම කළ නොහැකි වුවත් මතුගම දෙසට වාහන ගමන් කරවීම හැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
 
මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මාතර දෙසින් පැමිණ මතුගම දෙසට ධාවනය කිරීමට බලාපොරොත්තුවන වාහන වැලිපැන්න පිවිසුම භාවිතා නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිවිසුම් භාවිත කරන්නැයිද ජනතාවට දැනුම් දී තිබේ.
 
 කොළඹ දෙස සිට පැමිණ මතුගම දෙසට යාමට වැලිපැන්න පිවිසුම භාවිතා කළ හැකි වුවත් අලුත්ගම දෙසට ධාවනය වන වාහන දොඩම්ගොඩ පිවිසුම භාවිතා කළ යුතු බව ද අධිවේගී මාර්ග බලධාරීන් දැනුම් දෙයි.
 
එමෙන්ම තවදුරටත් ඇදහැලෙමින් පවතින අධික වැසි හේතුවෙන් අධිවේගී මාර්ගය ලිස්සන සුළු බැවින් වේගය සීමා කරන ලෙස ද ඉදිරියෙන් ධාවනය වන වාහන සමග නිසි පරතයක් තබාගෙන ධාවනය කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප - බන්දු තඹවිට