වැලි ගේන්න ගිය පියාට පහරදී 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා


(බී.ජී.චතුරංග,උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

ටිපර් රථයක ගමන් මඟ හරස් කර, එහි ගමන් කළ පියාට පහර දී, සිය 13 හැවිරිදි පුත්‍රයාට රබර් උණ්ඩ සහිත අවියකින් වෙඩි තැබූ වන සංරක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන නොච්චියාගම පොලිසියට බාර දුන් බව රාජාංගනය පොලිසිය පවසයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහයක ලෙස සේවයේ නියුතු නොච්චියාගම, රඹවැව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

පියකු සහ පුතකු ටිපර් රථයකින් වැලි පටවා ගෙන ඒම සඳහා නොච්චියාගම කටුපත්වැව, ගල්වල ප්‍රදේශයට ගොස්, ඇදිරි වැටීම නිසා ආපසු හැරී නැවත පැමිණෙමින් සිටියදී මෙම පහර දීම සහ වෙඩි තැබීම සිදුව ඇතැයි අනාවරණය වූ බව මෙහිදී පොලිසිය සදහන් කළේය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටිපර් රථය හරස් කර නවතා එහි දොර විවෘත කර යතුර රැගෙන රියෙන් බස්සවා තමාගේ කම්මුලට පහරදී, තුවක්කු බදකින් පිටට පහර දුන් අවස්ථාවේදී, දරුවා කෑ ගැසූ විට අනෙක් පුද්ගලයා තම දරුවාගේ හිසට වෙඩි තැබූ බවත් පියාගේ පැමිණිල්ලේ සඳහන්ව පොලීසිය කියයි.

හිසෙන් ලේ ගලන තුවාල සහිතව සිටි පුත්‍රයා සහ වෙඩි තැබූ පුද්ගලයා ටිපර් රථයේම දමා ගෙන පැමිණ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කර පහරදුන් පුද්ගලයා රාජාංගනය පොලිසියට බාර දීමට දරුවාගේ පියා වන පැමිණිලිකරු ක්‍රියා කර ඇති බව පොලීසිය කියයි.