වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ


බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ලිඛිත කරුණු දැක්වීමක් සඳහා දිනයක් දින ලෙස ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අවසර දුන්නේය.

ඒ අනුව අගෝස්තු පළවැනිදා ඊට ඉඩකඩ සැලසෙන බව මහේස්ත්‍රාත්වරයා කීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි, තෙවැනි හා හතරවැනි සැකකරුවන් වන හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බඹුණුසිංහ, හිටපු පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ කැළුම් රංග දිසානායක වෙනුවෙන් නීතීඥ අනුර රණසිංහ මහතා කරුණු දක්වද්දී ඔහු තමන්ගේ නීතීඥයා නොවන බව සැකකරුවෝ කීහ.

මහේස්ත්‍රාත් සැකකරුවන්ගෙන් ඒ ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ තමන් අද නීතීඥවරයකු පෙනී නොසිටින බවයි.

අනුර රණසිංහ මහතා කරුණු දක්වමින් පැවසුවේ ඔවුන්ගේ නෑයන්ගේ ඉල්ලීම අනුව තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

දැන් ඔවුන් වෙන දෙයක් කියනුයේ ඔවුන් රජයේ සාක්කිකරුවන් කිරීමට රහස් පොලිසිය ඔවුනට පොරොන්දුවක් දී ඇති නිසා විය හැකි යැයි ද නීතීඥවරයා පැවසීය.

සැකකරුවන් අගෝස්තු පළමුවැනිදා තෙක් රිමාන්ඩ් කැරිණි.