වාස් යළි රිමාන්ඩ්


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිට රජයේ සාක්කිකරුවකු වූ සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් මරා දමන බවට තර්ජනය කර කප්පම් ඉල්ලීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද නියෝග කළාය.

ගුණවර්ධන මහතා බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වුවේ පරීක්ෂණ කටයුතු අවසන් බවයි.

වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සේනාරත්න මහතා ඇතුළු නීතීඥවරුන් පැවසුවේ ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ සිදු කරන බවයි.

ගුණවර්ධන මහතාගේ කාර්යාලයයේ නිලධාරියකුගේ ප්‍රකාශයක් මත සාක්කිකරුවන් දෙදෙනකු ත්‍රාසජනක රංගනයක යෙදෙන බව ද නීතීඥවරු කීහ.

ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව ද සේනාරත්න මහතා අධිකරණයට දැන්වීය.