වාස් යළි රිමාන්ඩ්


බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුවේ ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සැකකරුවකු වන නමුත් ඔහු සොයා ගැනීමට නැති බවයි.

ජිප් රියේ තිබූ ලේ මිනිස් ලේ බල රජයේ රස පරීක්ෂක කියා ඇතැයි ද, එම ලේ සියාම්ගේ දැයි සොයා බැලීමට ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් පැවැත්වීමට යොමු කර ඇතැයි ද අබේසේකර මහතා කීවේය.

සොයාගත් අවියක උණ්ඩ කිහිපයක අඩුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු සඳහන් කළේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රස්ත මර්දන පනත යටතේ ප්‍රශ්න කිරීම නීති විරෝධී බවයි.

මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ඒ ගැන රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් විමසු    විට ඔහු කියා සිටියේ නීතිපති උපදෙස් ලබාගෙන උසාවියට කරුණු දක්වන බවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ආපසු බන්ධනාගාරයට රැගෙන යද්දී ගාල්ල පැත්තේ කතක් තරුණයකුගේ ඡායාරූපයක් ද අතැතිව පාරට පැන තම පුතාගේ මරණයට හිටපු නියෝජ්‍ය පොලිස්පති වග කිවයුතු යැයි ශාප කරන්නට වූවාය.

ඒ සමගම තවත් කතක් පාරට පැන ඇයට පැවසූයේ වාස් ගුණවර්ධන කහවත්තේ කොටකෙතන ඝාතන වැළැක්වූ වීරයකු බවයි.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)