වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ඔක්තෝබර් සිට දිනපතා විභාගයට


(මනෝප‍්‍රිය ගුණසේකර)

රහස් පොලිසිය තුළදී එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට මරණ තර්ජන කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 30 වැනි දා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  අද (10) නියෝග කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්  දෙමින්  පැමිණිල්ලේ  සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බම්බලපිටියේ කොටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන චෝදනාවට වරදකරුව මරණීය දඬුවම් නියම වී සිටින විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔහු සිරකරුවන්ට අන්දවන සුදු පැහැති සරොමකින් හා සුදු පැහැති අත්කොට කමීසයකින් සැරසී සිටියේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ අතර මෙම නඩුව ඔක්තොබර් 25 වැනිදා කැඳවීමටද නියම කළේය.