වාලච්චේන අසළ මුහුදේ දියඹේ දී දුර්ලභ වර්ගයේ මාළුවකු දැළකට අසුවූ බව ධීවරයෝ කියති.
අඩි හතරක් දිග කිලෝ 7.5ක් බර මේ මාළුවා වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට භාර දී ඇත.
මේ මාළුවා ගැඹුරු මුහුදේ ජීවත්වන ගොබ්ලින් ෂාර්ක් නමැති මෝර විශේෂයේ සත්ත්වයකු බව පරිසරවේදීහු පෙන්වා දෙති. අදින් වසර කෝටි 12.5ට පෙරාතුව පරිනාමය වීම නැවතී ඇති මේ සත්ත්වයා හඳුන්වන්නේ සජීවී පොසිලයක් ලෙසිනි.
මිට්සුකුරිනා ඔව්ස්ටොනි ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ වර්ගයේ වැඩුණු මත්ස්‍යයකු මීටර හතරක් පමණ දික්ව වැඩෙයි. විකාර රූපී මුඛය හා ඒ වටා පිහිටි ඉතා තියුණු දත් සමූහයත් හිස ඉදිරියෙන් ඇති අඟක් වැනි නෙරා යාමත් මාළුවාට බියකරු පෙනුමක් ගෙන එයි. ඉතා කෙටි වරල් සහිත මේ ගොබ්ලින් මෝරුන්ගේ සිරුර එතරම් ශක්තිමත් නැත.
මීටර 100ට වඩා ගැඹුරු මුහුදේ මේ සතුන් ජීවත්වෙයි. ඉතා කලාතුරකින් දැකිය හැකි මේ මසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සාගර කිහිපයක ජීවත්වන බව ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය කියයි.






