ව්‍යාපාරිකයෝ විදුලි සහන ඉල්ලති


විදුලි ගාස්තු සියයට 25 කින් අඩුකිරීමේ වාසිය තමන්ටද ලැබිය යුතුව ඇතැයි වෙළද හා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියුතුවෝ කියති.

ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇති පරිදි දැනට විදුලි ගාස්තු අඩුකිරීම සදහා තීරණයව ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ පමණකි.මහා භාණ්ඩාගාරය ගනු ලබන තීරණයන් අනුව ඉදිරියේදී කර්මාන්ත ක්ෂේත‍්‍රයටද විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ වාසිය කවර ආකාරයකින් ලැබේදැයි තීරණය කෙරෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වානිජ මණ්ඩලයේ ප‍්‍රධානී සුනිල්.ජී. විජේසිංහ මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට කර්මාන්ත වලටද විදුලි ගාස්තු සහනයක් ලැබුණහොත් එය යහපත්ය.නමුත් එය නොලැබුණේ යැයි කියා කර්මාන්ත ක්ෂේත‍්‍රයට අවාසියක් වන්නේ නැතැයිද තත්ත්වය එසේ වන්නේ නම් කර්මාන්තයන් තව තවත් විදුලිය පිරිමැසීමේ උපාය මාර්ගයන් භාවිතයට ගනු ඇතැයිද ඔහු කියයි.

නමුත් ගෘහස්ථ විදුලි ගාස්තු අඩුකිරීමෙන් රජයට අහිමි වන මුදල් කර්මාන්ත මත පනවා ඇති බදු මුදල් වල අගය වැඩි කර පියවා ගැනීමට රජය කටයුතු කළහොත් එය ක්ෂේත‍්‍රයට අහිතකර ලෙස බලපානු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

දකුණු ආසියා කලාපයේ ඉහළම විදුලි බදු ගෙවන්නන් වන්නේ ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික ක්ෂේත‍්‍රය බව ප‍්‍රසිද්ධ රහසකි.මෙය සාධාරණීකරණය කිරීමට රජය ඉදිරිපත් කර ඇති හේතුව වන්නේ අන් රටවල් වල මෙන් නොව දෝශ රහිතව,නොකඩවා සැපයෙන විදුලි බල ශක්තියට සරිලන ලෙස සාධාරණ මුදලක් අයකරගත යුතුය යන්නයි.

නමුත් පෞද්ගලික ක්ෂේත‍්‍රයේ නියුතුවෝ පෙන්වා දෙන්නේ ඉන්ධන මිල පහළ යෑමේත්,නව ගල් අගුරු විදුලි බලාගාරයේත් වාසිය තමන්ට ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.

කෙසේනමුත් ගෘහස්ථ පාරිභෝගිකයින්ට හෝ විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් රතු එළියක් දල්වා ඇති දේශපාලන විචාරකයින් මෙන්ම වෘත්තීය සමිති පවසන්නේ අධික ණය බරක් ඇති මෙන්ම පිට පිට පාඩුද ලබන විදුලි බල මණ්ඩලය මෙවන් ගාස්තු සහනයක් දීමට කටයුතු කරන්නේ නම් එය පවතින තත්ත්වය තවත් දරුණු කරනු ඇති බවයි.