ව්‍යාජ ඊමේල් හරහා මුදල් කොල්ලයක්


ව්‍යාජ ඊ-මේල් ලිපිනයන් මගින් එන්.ආර්.එෆ්.සී ගිණුම්වලින් රුපියල් බිලියනයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රහස් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.

පරීක්ෂකයන් පවසන්නේ එම ව්‍යාජ ඊමේල් ලිපිනයන් එන්ආර්එෆ්සී ගිණුම් හිමියන්ගේ නමින් එවා එම ගිණුම්වල මුදල් විදේශ ගිණුම්වලට මාරු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මුදල් ගැනීමකින් තොරව තමන්ගේ බැංකු ගිණුම්වල මුදල් අඩුවීම සම්බන්ධයෙන් පාරිබෝගිකයන් බැංකුවට දැනුම් දීමෙන් පසු මෙම වංචාව හෙළිවී ඇතැයි කියති.

සැබෑ ඊමේල් ලිපිනයන්ට සමාන ආකාරයෙන් මෙසේ ව්‍යාජ ඊමේල් නිර්මාණය කර ඇති බවත් සැකයක් ඇති නොවන පරිදි ඒවායේ එක් අකුරක් දෙකක් පමණක් වෙනස්කර ඇති බවත් සොයාගෙන ඇත.

මෙසේ මුදල් බැරවී ඇත්තේ මැලේසියාව, තායිලන්තය, නයිජීරියාව හා බෙල්ජියම යන රටවල ගිණුම්වලට බව පරීක්ෂකයෝ කියති.

නිවැරදි ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් බැංකුව සතුව තිබිය යුතු බවත් මේ සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සම්බන්ධවී සිටීද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය කියයි.