වසර එක හමාරකට පසු සුද්දාට ඇප


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඉන්දියාවේ සිට තැපෑලෙන් එවූ හෂීස් තොගයක් සම්බන්ධයෙන් වසර එකහමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ජොෂ් කර් විල්ටන් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය ද තහනම් කළේය.

ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් හුවමාරුවේ දී පාර්සල් දෙක ගැනීමට ගිය විල්ටන් ද, බ්‍රට්න් සාවුල් ෆීලික්ස් ද එම පාර්සල් රැගෙන පැන දිවූ නමුත් බ්‍රට්න් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය උසාවියට දැන්වීය.

බ්‍රට්න් හා උදේශ් හෙට්ටිආරච්චි යන සැකකරුවෝ දෙදෙනා දැනට ඇප මත සිටිති.

උදේශ් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කුඩු පාර්සල් සම්බන්ධ ලියැවිලි සකස් කිරීම වෙනුවෙනි.