වසර 10ක අභිරහසක් හෙළිවෙයි


සුදු පැහැති වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සැඟවී සිටි සැකකරුවන් සිව් දෙනකු වසර 10 කට පසුව හලාවත කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.

කුලියාපිටිය - ඉලුක්හේන පදිංචිව සිටි අප්පුකුට්ටි දේවගේ ලලන්ත (22) තරුණයා 2005 වසරේ ඔක්තොම්බර් මස 10 වැනි  දින මෙම ඝාතනය කර තිබූ අතර ඔහු කොස්වත්ත මීගහවෙල පදිංචි තම ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී පැහැර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් පසුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එවකට කොස්වත්ත පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනකු අත්අඩංගුවට ගැනිණි. ඔවුන්ට එරෙහි නඩුව මේ වන විට හලාවත මහාධිකරණයේ විභාග වෙමින් පවතී. එම පොලිස් නිලධාරීන් 05 දෙනාගේ සේවය මේ වන විට අත් හිටුවා ඇත. සේවය අත්හිටුවා ඇති උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට නීතිඥයෙකු ලෙස මාරවිල අධිකරණයේ සේවය කරමින් සිටී.

නමුත් මෙම ඝාතනය සිදු කරන ලද්දේ වෙනත් පිරිසක් විසින් බවට වූ තොරතුරක් හලාවත කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශණ අංශයට ලැබීමෙන් පසු එම තොරතුර සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් සිදු කළ නොවිසුඳුණු අපපරාධ විමර්ශන අංශය ඝතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් (04) දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වෙන්නප්පුව - සිරිගම්පල ප්‍ර‍දේශයේ පදිංචිකරුවන්ය.එම ප්‍රදේශයේ සිදුවී ඇති බව කියන විවිධ අපරාධ වලට සම්බන්ධ බව කියන මෙම සැකකරුවන්ට එරෙහිව මේ වන විටත් අධිකරණයන් හමුවේ නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය කියයි.

මෙම ඝාතනයට පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධ වූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පවසා ඇත.ඉන් එක් අයෙකු විසින් මිනිස් ඝාතන 03 ක් සිදු කර ඇති බවත්,ඔහුද මේ වන විට ඝාතනයට ලක්වී ඇති බවත් අනාවරණය වී ඇත.තවත් සැකකරුවන් 02 කු වෙනත් ඝාතනයන් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.අනෙක් සැකකරුවන් දෙදෙනා ඉතාලියට පලා ගොස් ඇතැයි කියති.

සංගීත සංදර්ශනයක් නැරඹීම සදහා යාමට සුදානම් වී සිටින විට පැමිණි සෙසු සැකකරුවන් තමන්ව කැදවාගෙන ගොස් මෙම ඝාතනය සිදු කළ බවත්,එය කොන්ත්‍රාත්තුවක් බවත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පවසා ඇත. ඝාතනය සදහා යොදා ගෙන ඇති වෑන් රථය දැනට ඉතාලියේ සිටින සැකකරුවෙකුට අයත් වන බවත්,ඔහුද මිනිස් ඝාතන කීපයකට සම්බන්ධ බවද පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.ඔහු මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියයි.

ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුව ලැබී තිබුනේ වෙනත් අයෙකුව බවත්,මෙම තරුණයා ඝාතනය වූයේ අත් වැරදීමකින් බවද සැකකරුවන් පවසා ඇත.