වරදරාජා පෙරුමාල්ගෙන් සම්පන්දන්ට දෝස්මුරයක්


සිරාජ් හසීම්

විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ වලිගයේ එල්ලී සිටීමෙන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට  නොහැකි වී තිබෙන බව  උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය අන්නාමලෙයි වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.
 
දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල බෙදීමක් මෙතෙක් හිමිව නැති බවත් බලතල බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් තවදුරටත් අරගල කිරීමට සිදුව තිබෙන බවත්, අරගල කිරීමේ හැඟීමක් දෙමළ සන්ධානයට නැති බවත් පෙරුමාල් මහතා අවධාරණය කළේය.
 
දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(16) යාපනය වයි.එම්.සී.ඒ ශාලාවේදී අද එළිදැක්වූ අවස්ථාවේදී හෙතෙම මේ අදහස් පල කළේය.
 
‘‘දෙමළ ජාතික සන්ධානයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පුමුඛ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත් වෙලා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ හා එකතු වුණා .සති දෙකකට පෙර උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ද මැතිවරණයේදී පක්ෂය ගැන නොබලා වැදගත් නියෝජිතයා තෝරා ගන්නැයි අවධාරණය කළා.   දෙමළ ජාතික සන්ධානය තුළ දෙදරීමක් ඇති වුණේ ඒ සමගයි.
 
එම දෙදරීම නිසාම අපේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානයට එකතු කරගන්න සාකච්ඡා පැවැත්වුවා. දෙමළ ජාතික සන්ධානය රජය පිටිපස්සෙ ගිහිං වළිගයේ එල්ලිලා ඉන්න එකෙන් දෙමළ ජනතාව පිළිගන්නා බලතල බෙදීමක් නොලැබී තිබෙනවා. මේ නිසා දැන් බලතල බෙදීමක් සහිත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසදුම් ගෙන එන්න අරගල කරන්න සිදුවෙලා.
 
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම් ගේන්න අපට තියෙන හැගීම හා කැපකිරීම දෙමළ ජාතික සන්ධානයට නැහැ. මෙය කණගාටුවට කරුණක්. ‘‘ යැයි ද පෙරුමාල් මහතා කීවේය.