ලෝක කැරම් ශූරතාවලිය කොළඹදී
හයවැනි ලෝක කැරම් ශූරතාවලිය මේ මස 31 වැනිදා කොළඹදී ආරම්භවේ. එය නොවැම්බර් මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත්වේ. අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරේදී පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය.
ලෝක කැරම් ශූරතාවලිය සිවු වසරකට වරක් සංවිධානය කෙරේ. තරගාවලියට ලෝක කැරම් සම්මේලනයේ සාමාජික රටවල් 18 ක් සහභාගිවන බවට දැනටමත් තහවුරු කර ඇතැයි සත්කාරක ශ්‍රී ලංකා කැරම් සංගමය පවසයි.
ලෝක ශූර ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, කොරියාව, මැලේසියාව, ජපානය, ඇමරිකාව, කැනඩාව, කටාර් රාජ්‍යය, චෙකොස්ලෝවැකියාව, මොරිසස් දුපත්, ජර්මනිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය යන රටවල් මේ වන විටත් තරගාවලියට සහභාගිවන බවට තහවුරු කර තිබේ.
ඊට එක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීහු ගණන 120 ක් පමණ වෙති.
ජාතික කැරම් ශූර නිශාන්ත ප‍්‍රනාන්දු සහ ජාතික ශූරී ජෝශප් රොෂිටා ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 10 දෙනෙක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා යටතේ පුහුණුවීම්වල නිරතවේ.
අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක කැරම් ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස එය සැලකේ. දකුණු ආසියානු රටවල් කැරම් ක‍්‍රීඩාවෙන් මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටියි.
කැරම් ක‍්‍රීඩාවේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වන එකම රට ඉන්දියාව ලෙස කලක් සැලකූව ද මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් කැරම් ක‍්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ සිටිති.
2008 වසරේ ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික කැරම් තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් අපොහොසත්ව සිටියි. පසුගිය වසරේ මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම් තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි.
විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ‍්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ.
චමිල් කුරේ පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් ජාතික ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය. චමිල්, අන්තර්ජාතික තරග බිමේදී අවස්ථා කිහිපයකදීම ලෝක කැරම් ශූර ඉන්දියාවේ යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට සමත්ව සිටීමත් කැපී පෙනේ.
කෙසේ වෙතත් චමිල්, මෙම වසරේ පැවැති ජාතික කැරම් ශූරතාවලියේදී නිශාන්ත ප‍්‍රනාන්දු ට පරාජය විය.
ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල:
පිරිමි
නිශාන්ත ප‍්‍රනාන්දු (නායක), චමිල් කුරේ, මොහොමඞ් ෂෙරිෆ්ඞීන් ඩිමල් සේනාරත්න සහ අජිත් චන්ද්‍රසෝම
කාන්තා
ජෝශප් රොෂිටා (නායිකාව), මධුෂිකා කාංචනමාලා, යශිකා රාහුබද්ධ, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ

