ලෝක අධිකරණ පොජ්ජට යන්නට ආදිවාසී නායකයා සූදානම්
ශ‍්‍රී ලංකාවේ ආදිවාසී නායකයන් අතරින් අධිකරණයක මත ඇප ලැබූ පළමු ආදිවාසී නායකයා තමා බවත් ඒ ගැන කනගාටු නොවන බවත් එහෙත් වරිග පරම්පරාවේ අයිතිවාසිකම් උදුරාගන්නා මිනිස්සුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට වුවත් යන්නට පසු නොබසින්නේ යැයි මහියංගන උසාවිබිමේ දී ඌරුවරිගෙ වන්නිලා ඇත්තන් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
‘‘මේ ඇත්තෝ මේවාගේ උසාවි පොජ්ජකට මංගච්ඡලා කූඩු පොජ්ජක මන්දො වෙච්ච පළවෙනි වාර පොජ්ජ මේ. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජේ පළවෙනි පාර පොජ්ජ මේ. හැබැයි මේ ඇත්තේ දුක් පොජ්ජ මන්දො වෙනවා කොදොයි. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජ වෙනුවෙන් අධිකරණ පොජ්ජට මංගැච්ඡීම වෙනුවෙන්. අනිත් එක තමයි මේ ඇත්තන්ව බියකර දැම්මත්, අද දවස් පොජ්ජේ වනජිවී හුරලා මංගජ්ජලා පුච්චා දැමුවත් මේ ඇත්තෝ ලෝක පොජ්ජේ තියන හරි අධිකරණ පොජ්ජකට හරි මංගච්ඡන්න සුදානම් පොජ්ජ පරම්පරා පොජ්ජ වෙනුවෙන්. පරම්පරා පොජ්ජෙ අයිති පොජ්ජ වෙනුවෙන් ලෝක පොජ්ජේ උඩතැනටම හරි මංගච්ඡන්න සුදානම්’’ යැයිද ආදිවාසි නායකයා කිවේය.
ආදිවාසී නායකයා ලෙස තමන් දඩයම් නොකළාට තම පරපුර යැපුණෙ දඩයමින් බවත් ඒ අයිතිය අද තමන්ට නැතිව තිබෙන බවත් කී ආදිවාසි නායකයා අහිමිවි ගිය තම අයිතිවාසිකම් රැක ගැනිමට දැන් අධිකරණයේ සහ ආදිවාසීන්ගේ පැවැත්මට හිතැති ජනතාවගේ පිහිට පතන බවද ඔහු කීවේය.

