ලොකු ලූනු කුණුකොල්ලයට අරන් ඉන්දියාවට පටවන ජාවාරමක්


(මහින්ද නිශ්ශංක)

පිටකොටුව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ආනයනය කරන බී ලූනු කිලෝව රුපියල් 115, 120 වශයෙන් මිලදී ගෙන ඉහළ මිලකට කන්ටේනර් පිටින් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

ඉන්දියාවේ දැනට පවතින ලුනු හිඟය හේතුවෙන් මෙරට පෞද්ගලික සමාගමක් මගින් මෙම බී ලූනු එරට ප්‍රති අපනයනය කිරීමේ ජාවාරමේ යෙදෙන බවත් දැන ගන්නට තිබේ.

දැනට ඉන්දියාවේ බී ලූනු මෙටි්‍රක්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 1200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසන එම ආරංචි මාර්ග බී ලූනු කිලෝවක මිල ශ්‍රී ලංකා රුපියල් 260ක් පමණ වන බවද පැවසේ.

පිටකොටුව ආනයනකරුවන් හා තොග වෙළෙන්දෝ දැනට තුර්කියෙන් හා නෙදර්ලන්තයෙන් බී ලූනු ගෙන්වන අතර අදාළ සමාගම එම ආනයනකරුවන්ගෙන් බී ලුනු මිලදී ගෙන කන්ටේනර් පිටින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ විශාල වශයෙන් බී ලූනු හිඟයක් ඇතිවන බවද වාර්තාවේ.

සතියකට බී ලූනු කන්ටේනර් 120ත් 140ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වන බවත් දැනට දින 10කට ප්‍රමාණවත් බී ලූනු තොග පිටකොටුව තොග වෙළෙඳපොළේ පවතින බවත් එම වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.