ලොකු පුටු හිස්- පිරිසක් කයිවාරුවේ


“ ලොකු ලොක්කන් පුටුවල නැහැ. අනිත් අය කයිවාරු ගහමින් ඉන්නවා  තව සමහරුන් දුරකථනයේ එල්ලිලා. මහජනතාව රස්තියාදු වෙනවා. අද බදාදා මහජන දිනය. මහජනතාවට සේවා ඉටු කරන්නේ මෙහෙමද?‘යි බදාදා පස්වරුවේ හදිසියේම, මහනුවර නව මහ ලේකම් කාර්යාලයයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එහි සේවකයනට අවවාද කරමින් ඇසුවේය.   මහනුවර දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධයක්ෂ හා මූල්‍ය අධ්‍යක්ෂ යන තිදෙනාම කාර්යාලයයේ නැති බව දැකගත් ආණ්ඩුකාරවරයා ඔවුන්ගේ නිදහසට කරුණු විමසන ලෙසද උපදෙස් දුන්නේය. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත ගිය ආණ්ඩුකාරවයා එහිදී සියවසකටත් වඩා පැරණි ඉඩම් ඔප්පු සහිත ලේඛනාගාරය පරීක්ෂා කෙළේය. වැසි දිනවලට එහි පියස්සෙන් ජලය  කාන්දුවීම හේතුවෙන් එහි ඇති වටිනා පැරණි ලේඛන විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇතැයි මධ්‍යම පළාත් සහාකාර රෙජිස්ටාර් ජනරාල් එම්.එස්. උපාලි මහතා පෙන්වා දුන්නේය. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයය යන කාර්යල ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.