ලක්ෂ හතලිහක මැණික් රාජසන්තකයි


චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ  රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අවවාද කර  ඇය මුදා හැරීයේය.

සැකකාරිය  පසුගිය මාස හය ඇතුලත හතර වතාවක් මෙරටට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබූ  මැණික් තොගයේ  බර ග‍්‍රෑම් 1627 කි. එය කැරට් 8135 කි. 

ඇය අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 888 දරණ ගුවන් යානයෙන් චීනයේ බෙයිජින් නුවර බලා  යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් ගල් තොගය සොයා ගෙන ඇත.

රේගු  නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ සංචාරය කිරීම   සඳහා මෙරටට පැමිණි බවත් අදාල මැණික් ගල් බැංකොක් වලදී මිලදී ගත් බවයි.


රේගුව පවසන්නේ අත්අඩංගුවට ගත් මැණික් අතර   විදේශීය මැණික් වර්ග මෙන්ම මෙරටට ආවේනික වූ මැණික් වර්ගද තිබූ බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂනය  රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන පී.ජී ජයසේන, පියල් හත්තණආරච්චි සහ සහකාර රේගු අධිකාරී එච්.ඩබ්ලිව්.සී ශ්‍යාමාල් යන නිලධාරීහු සිදු කළහ.