ලංවිම - ලංගම - දුම්රිය ලාභ ලබන ආයතන කරනවා


(චන්ද්‍රසේන ගමගේ)

රටේ ආර්ථිකයට බරක් වී ඇති විදුලි බල මණ්ඩලය , ඛනිජතෙල් සංස්ථාව , දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංගම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති සංවර්ධන අමාත්‍ය මහන්ද  අමරවීර මහතා අද (08) මැදමුලන රළුව ප්‍රදේශයේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

‘‘විදුලිබල මණ්ඩලය මේ රටේ වාණිජ බැංකුවලට ණය වෙලා තියෙන්නේ. කෝටි  20 000 ක්.ඒ වගේම එහි සේවකයින් ඉහළ වැටුප් ලබනවා.මේ අයාතන වල ඉතිහාසය ඒ තරම් හොද නෑ. විදුලි බල මණ්ඩලයට චෝදනා රැසක් තිබෙනවා.

හදිසි විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් හා අක්‍රීය වූ විදුලි ජනක ගෙන්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවටත් එහෙම චෝදනා තිබෙනවා. බාල ඛනිජ තෙල් ගෙන්වීම සමබන්ධයෙන් විවිධ ගිවිසුම් මගින් ඛනිජ තෙල් සංස්ථාවට කරපු හානිය සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමෙන්තුවටත් එවැනිම චෝදනා තිබෙනවා. බාල ඝණයේ කෝච්චි ගෙන්වීම සම්බන්ධයෙන් බාල කෝච්චි පෙට්ටි ගෙන්වීම සම්බනයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

ඒ වගේම ලංගමටත් එවැනිම චෝදනා තිබෙනවා.මෙවැනි ආයතන සමූහයක් තමයි මට ලැබී තිබෙන්නේ. නමුත් මේ ආයතන වල සේවකයින් ගේ ඵලදායීතාවය වැඩි කර දූෂණය  අවම කර මේ ආයතන සියල්ල ගොඩගන්න මම ක්‍රියා කරනවා.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ගේ සහයෝගය මට ලැබී තිබෙනවා.

දූෂණයට ලක් වෙන සියළු නිලධාරීන්ට තරාතිරම නොබලා කටයුතු කරන්න මේ වන විට ජනාධිපතිවරයා තීරණයක ඉන්නවා. එය ඉතාමත් හොද තත්වයක් බව මෙහිදි පවසනවා.

නිලධාරීන්ට පමණක් නොව දේශපාලකයින්ටත් ඒ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා ක්‍රියා කරන බව මට විශ්වාසයක් තියෙනවා. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති වෙන්නේ කවදාද එදින සිට මේ රට දියුණුව කරා යන බව මම මෙහිදී පවසනවා.

මේ වන විට මේ රටේ පොදු ප්‍රවාහන සේවය කඩා වැටිලා‍. දියුණු රටවල පොදු ප්‍රවාහන  සේවය ඒ රටවල ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන කොට අපේ රටේ ජනතාව තමන්ගේ වාහනයක් ගැන විශ්වාසය තබා තිබෙනවා.

මේ රටේ පොදු  ජනතාව පොදු ප්‍රවාහන සේවය කෙරේ විශ්වාසයක් තබන තැනට මේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් මම ඉදිරි කාලයේදී පියවර ගන්නවා. නගර අතර සුඛෝපභෝගී බස් සේවා හා දුම්රිය සේවා ඇති කිරීම මගින් මධ්‍යම පාන්තිකයන්ට නිදහසේ ගමන් කරන්ට පුළුවන් පොදු ප්‍රවාහන සේවයක් ඉදිරියේදී ඇති කරනවා.

ඉදිරි කාලයේදි මේ රටේ පාරවල් වල සුඛෝපභෝගී  බස් රථ මෙන්ම රේල් පීලි මත සුඛෝපභෝගී  දුම්රිය ද ගමන් කරන තත්වයට මේ රට පත් කරනවා‘‘ යැයි ඇමැතිවරයා පැවසීය.